Monday, April 18, 2016

නොරට ගිය හිමි සඳුනි...I | Oh my love...!



විඳින්නට රස පහස
බොහෝ කලකින් නොමවිඳි
දඟකරයි මස් දළු
පුපුරු ගසනා තන පුඩු

හෙලන සුසුමට ගොදුරුව
කොට්ටයද ගිනි ගත්තත්
තනිය රැකුමට යහනේ
හිඳී එය නුඹෙ සුවඳ සමඟින්

කොහා සපැමිණ හඬගා
හති වැටී පියඹා ගියත්
හිමියනේ නො ආ වග අවුරුද්ද
කියනු ඇත නුඹ පැමිණ විටකදි

සැරසිලා සිටි පිපෙන්නට
සිඟිති එරබදු කැකුළිය
සැලි සලී ඉකිගසයි
නුඹෙ දෙතොලෙ දඟකාර හුරතලය සිහිපත්ව

උතුරනා සෙනේ ගඟ
වියලෙන්න ඉඩ නොදී
අලුත් අවුරුද්දත් අරන්

එන්න මා හිමියනේ වෙසක් මාසයේවත්



©සාගර රත්නායක | 13-04-2016

Monday, February 1, 2016

නියම ගොවියා (?) | Real Farmer(?)


රටක් යනු පංති කාමරයක් හෝ ග්‍රාම සංවර්ධන සමිතියක් හෝ නොවේ. එය මල් හෝ එළවළු පාත්තියකි. වල් පඳුරු මැඩලිය යුතුමය. 

මිරිස් තවානක ඇති බණ්ඩක්කා පැළයත් බණ්ඩක්කා තවානක ඇති මිරිස් පැළයත් ගැනෙනුයේ වල් පඳුරු ගණයටය. නියම ගොවියකු නම් නිසි කල්හි වල් පඳුර හඳුනාගෙන එය ඉවත් කරන්නාය. 

තවානට ඇදී එන පොඩිසිං‍‍ඥො මරං වැල දැක නුදුටු ගානට සිටී නම් හේ ගොවියකු නොවන්නේය. මන්ද ගොවියා තවානේ ආරක්ෂකයා වන නිසාය.

එමෙන්ම, මිරිස් තවානේ ඇති බණ්ඩක්කා පැළය දුටු ජෙයමෝහිනී උන්දෑ කී පමණින් ඒ වටා ඇති මිරිස් පැල ගලවා විසි කරන්නේද බණ්ඩක්කා තවානේ ඇති මිරිස් පැළය දුටු සයිබු නානා කී පමණින් ඒ වටා ඇති  බණ්ඩක්කා පැල ගලවා විසි කරන්නේද නියම ගොවියකු විය නොහැක. 

තමන් ඉන්දන්නේ මිරිස් පැළද බණ්ඩක්කා පැලද නොදන්නා හෝ නොදන්නා බව පෙන්වන්නා ගොවි රජෙකු නොව චේතිය රජෙකි.

Friday, January 29, 2016

අහිංක විප්ලවකරුවාගේ පාපෝච්ඡාරණය | Confession of an Innocent Revolutionist


වනේ සතුරන් හොරෙන් ඇවිදින්
දෙසූ පූචානමට බිලිවී
උන් පිරූ මෝහයේ මධු විත 
දණනමා පිලිගමින් බීවෙමි

වෛරයෙන් නෙත් අන්ධවී ගිය
තින්ත පෙවූ පරණැලට  රැවටී
උමතු වී සිහි විකල්වූ මෙන්
පළිඟු පිළිමය විලට හෙලුවෙමි

විෂ පෙවූ සප් දළ පහරවැද
දිය ද ලෝදිය වෙනස නොදැනී  
සිහිල් දිය පිරි කළය බිඳදා
වලං කට්ටෙන් මඩ වතුර බොමි 

දුරුතු පුර හඳ උදාවන විට
අමාවක වූ රටක ඉපදී
පිපෙන්නට සිටි කුසුම පොඩිකර
සුසුම් හෙලමින් නිදන්නට යමි

[Photo from here]